පොහොර ගැන සාකච්ඡා කළා නම් මේ ප්‍රශ්න ඇති වන්නේ නැහැ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු සියලු අංශ සමඟ  සාකච්ඡා මාර්ගයට යෑම වඩා  වැදගත් බවත් සාකච්ඡාවට ගියේ නම් මේ ප්‍රශ්න ඇති නොවන්නේ යැයි  තමාගේ පෞද්ගලික විශ්වාසය බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසීය.

හරිත කෘෂිකර්මයට අවතීර්ණ වූයේ  යහපත් චේතනාවෙන් මිස කාටවත් රිදවීමට නොවන බව සඳහන් කළ හෙතෙම රජය රටේ කෘෂිකර්මාන්තය කඩා වැට්ටවීමට සූදානම් නැතැයිද  ප්‍රකාශ කළේය .

ඔහු මෙසේ පැවසුවේ  2021 මුදල් වර්ෂයට අදාළ 2020 අංක 7 දරන විර්ජන පනත සංශෝධනය සදහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත සහ  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ  2021 ඔක්තෝබර් 29 දින පළ කළ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශනයට  අනුමැතිය ලබා ගැනීම  සඳහා පැවැති විවාදයේදීය.

රටේ ජනතාවගේ යහපත සහ සුභසිද්ධිය සැලකිල්ලට ගෙන ආණ්ඩුව සහ විපක්ෂය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්  සාකච්ඡා කර සම්මුතියෙන් කටයුතු කිරීම වඩා වැදගත් බවත් දේශපාලන පටු චේතනාවෙන් කටයුතු කරනවාට වඩා එසේ කටයුතු කිරීම  සුදුසු බවත්  ඇමැතිවරයා පැවසුවේය.

බොහෝ දෙනෙකුට ආණ්ඩුව කරන දේවල් මතක් වෙන්නේ  විපක්ෂයට ගිය විට යැයි පැවසූ චමල් රාජපක්ෂ මහතා රටේ අනාගතය සඳහා  මේ සාකච්ඡාවට  එකතු වන්නැයි  විපක්ෂයට ආරාධනා කරන බවද සඳහන් කළේ‍ය .