පොලිසිය කටයුතු කරන්නේ ජනපතිගේ නියෝගයට පමණයි - පොලිස්පති


ඉන්දිකා රාමනායක 
 
පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ   විධායකයේ ප‍්‍රධානියා සහ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශ බාර ප‍්‍රධානියා වන ජනාධිපති  මෛත්‍රීපාල   සිරිසේන මහතාගේ නිශ්චිත නියෝග හා උපදෙස් අනුව පමණක් බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (7) පැවසීය.
 
පෙර ආරක්ෂාව යළි ලබා දෙන ලෙසට එක්සත් ජාතික පක්ෂ  මන්ති‍්‍රවරුන් කරනු ලබන ඉල්ලීම් තමන්ට ඉටු කළ නොහැකි බවද පොලිස්පතිවරයා කියා සිටියේය.
 
පොලිස්පතිවරයා මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
 
2015.11.09 දින අංක 21/31/2015 දරණ පොලිස්පති චක‍්‍රලේඛයේ ප‍්‍රතිපාදන වලට අනුව   සියලූ ඇමැතිවරුවන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට හා  මන්ති‍්‍රවරුන්ට අවශ්‍ය ආරක්ෂාව  දැනටමත් අවශ්‍ය පරිදි ලබා දී ඇති  බවද පොලිස්පතිවරයා  සඳහන් කළේය.
 
රනිල් වික්‍රමසිංහ මහතාට හා  මන්ත්‍රීවරුන්ට පෙර  තිබූ ආරක්ෂාව   ලබා දෙන ලෙසට හිටපු අමාත්‍ය  රංජිත් මද්දුම බණ්ඩාර මහතා   ලිපියක් මගින් තමන්ගෙන් කර ඇති ඉල්ලීම තමන්ට ඉටුකළ නොහැකි බවත් එම ඉල්ලීම  වලංගු නොවන බවත් පොලිස්පතිවරයා පැවසීය.
 
අමාත්‍ය  රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ  එම ලිපිය  හිටපු අමාත්‍යවරුන් වන    නලීන් බණ්ඩාර, දයා ගමගේ සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන්  පොලිස් මුලස්ථානයට බාර  දී ඇති බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.