පාස්කුදා ප්‍රහාරයට වසර 4යි


බදුල්ල ශාන්ත මරියා ආසන දෙව්මැදුර ඉදිරිපිට


(ඉන්දිකා රාමනායක සහ  ඩයනා උදයංගනී)

පාස්කු  ඉරිදා  එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට අදට (21) වසර හතරක් සපිරෙයි.

දේවස්ථාන තුනක් හා කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ තරුපහේ හෝටල්  තුනක්,  ඉලක්ක කරගෙන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ  ප්‍රහාර මාලාවෙන් විදේශිකයන් 45 දෙනකු ඇතුළු පුද්ගලයන් 277 දෙනකු මියගිය අතර තවත් 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

දෙමාපියන්ට දරුවන් අහිමි කරමින්, දරුවන්ට දෙමාපියන් අහිමි කරමින්, තවත් පිරිසකට ඥාතීන් අහිමි කරවමින් සිදු වූ මෙම මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ කුඩා දරුවන් ඇතුළු බොහෝ පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටිති.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්  මුනිඳුන්ගේ දේවස්ථානය හා  මඩකළපුව සියෝන් දේවස්ථානය යන දේවස්ථානවල පාස්කු දේව මෙහෙය පැවැත්වෙමින් තිබිය දී එහි බැතිමතුන් ඉලක්ක කරගෙන ඉකුත් 2019 වසරෙ අප්‍රේල් 21 වැනිදා පෙරවරු 8.45 ට පමණ එකම වේලාවක දී මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබිණි.

ඊට අමතරව කොළඹ ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංස්බරි යන හෝටල්වලට ද මෙම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල විය.

මෙම ප්‍රහාර මාලාවෙන් මියගිය අය සිහිකරමින් දිවයින පුරා කිතුණු දේවස්ථානවල හා  අද (21) දිනයේ දිව්‍ය පූජා ඇතුළු ආගමික වතාවත් රැසක්  සිදු කෙරේ.

ප්‍රධාන දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද උදේ 9.00ට පැවැත් වේ.

මෙම බෝම්බ ප්‍රහාර මාලාවෙන් මියගිය තුවාල ලැබු සහ සදාකාලික අබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් ශක්තිය ඉටුකරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ මෙහෙයවීමෙන් හා කතෝලික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් “සත්‍යය හා යුක්තිය සොයා අබ්බා පියාණන් වහන්සේට මොර ගසන යැදුමේ පා ගමන” නමින් පා ගමනක් ද කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්  මුනිඳුන්ගේ දේවස්ථානයෙන් ඊයේ (20) පස්වරු 6.00 ට ආරම්භ විය.

එම පා ගමන කොළඹ මීගමුව මාර්ග ඔස්සේ  කටුනායක, අම්බලන්මුල්ල, තුඩැල්ල, මත්තුමගල, වත්තල, කොටහේන හරහා කොච්චිකඬේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වෙත  පැමිණීමෙන් පසු අද පෙරවරු 9.00 ට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන දිව්‍ය පූජාව  පැවැත්වේ.

පාස්කු ප්‍රහාරයට හසුවූවන්ට සාධාරණය ඉල්ලා දිවයිනපුරා දේවස්ථාන ඉදිරිපිට දී විරෝධතා රැසක් සංවිධානය කර තිබුණි. 

(ඡායාරූපය: ප්‍රසාද් රුක්මල්)

 


කටුවපිටිය ශාන්ත සෙබස්තියන්  දේවස්ථානය

(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)


හැටන් ශ්‍රි කුරුස දේවස්ථානය

( ඡායාරූප: රංජිත් රාජපක්ෂ )


බේරුවල පයාගල පරලෝක රාජේශ්වරීය දෙව් මැදුර ඉදිරිපිට

(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)


 කටුකුරුන්ද මංසන්ධියේ සහ ශාන්ත පිලිප්නේරි දෙවි මැදුරේදී පැවැති විරෝධතාව සහ දේව මෙහෙය

(ඡායාරූප , සුනිල් එස් තන්ත්‍රිආරච්චි

 


පුත්තලම ශාන්ත මේරී ප්‍රධාන දෙවස්ථානයේ

(ඡායාරූප: එච්. චන්දන)


දුම්රිය ස්ථානය අසල

(ඡායාරූප: තිලකරත්න  දිසානායක)


ගාල්ල කරිටාස් සෙඩ්ගෝල් ආයතනය සහ ගාල්ල කළුවැල්ල ශුද්ධවු ජපමාල රාජේශ්වරියගේ ආසන දෙව්මැදුර

(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)