පාස්කු ප‍්‍රහාරය ගැන පොලිස් නිලධාරීන් 9 කට එරෙහිව පියවර ගන්නැයි නීතිපති දැනුම් දෙයි


(මනෝප‍්‍රිය ගුණසේකර)

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නවදෙනෙකුට එරෙහිව අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන් නවදෙනාට එරෙහිව අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට ලිඛිතව නියම කර ඇති නීතීපතිවරයා  එහි පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා පොලිස් කොමිසමේ සභාපතිවරයාටද යොමු කර ඇත.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ සැළකිල්ලට ගනිමින් නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අපරාධ හා විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ කොළඹ, වයඹ හා විශේෂ ආරක්‍ෂක දිසාව නියොජ්‍ය පොලිස්පතිවරුන්ට, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 03 සහ 04 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටාර්වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවය.

‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හා එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීම සඳහා මෙම පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සහ ඔවුන්ගේ රාජකාරී කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශයන් කෙරෙහි සැළකිල්ල යොමු කරන නීතිපතිවරයා අදාළ පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීම සහ ඔවුන්ගේ රාජකාරී කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇත.

අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශයන් අදාළ කර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස් කොමිසමේ සභාපතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.