පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ කොමිසන් සභාවල වාර්තා ඉක්මනින් ප්‍රසිද්ධ කළ යුතුයි


(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කොමිසන් සභා දෙකේ වාර්තා කඩිනමින් ප‍්‍රසිද්ධ කරන ලෙස තමන් අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඇතැම් අවස්ථාවලදී සතුරාගේ සතුරා මිතුරාය යනුවෙන් දේශපාලනඥයින් කල්පනා කරන බව කී අමාත්‍යවරයා එවැනි අය විසින් මුස්ලිම් මධ්‍යස්ථ පිරිස් යටපත් කිරීම ස ඳහා තව්හීද් ජමාද් ව්‍යාපාරය වැනි අන්තවාදී ව්‍යාපාර ශක්තිමත් කළේද යන්නත් වහාම සොයාබැලිය යුතු බව ප‍්‍රකාශ කළේය.

අනාගතයේ දී රට තුළ ත‍්‍රස්තවාදී ප‍්‍රශ්න මතු නොවන්නට නම් රටේ බුද්ධි අංශය රාජ්‍ය ආරක්‍ෂාව සඳහාම කැපවූ ස්වාධීන ආයතනයක් බවට පත් විය යුතුයැයි කී ඇමතිවරයා බුද්ධි අංශ දේශපාලන ඉලක්කවලින් හා බලපෑම්වලින් මුදවා ගත යුතු බව ද සඳහන් කළේය.

යුද්ධය පැවති කාලයේ මෙන් දෙගුණයක බුද්ධි අංශයක් යුද්ධෙන් පසුව ඇති වූ බව කී ඇමතිවරයා ඇතැම් බුද්ධි අංශවලට හා අන්තවාදී සංවිධානවලට 2012-13  කාලයේදී මුදල් ආධාර වාහන ආදිය ලැබුණු බව ඔප්පු වී ඇතැයිද ප‍්‍රකාශ කළේය.

සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම්වලට 2012, 13, 14 කාලයන්හි ආරක්‍ෂක අංශවලින් ආධාර උපකාර ලැබුණේද ඒ කොයි ආකාරයෙන්ද යන්න ගැන විශේෂ පරීක්ෂණයක් කළ යුතු බව ද කීවේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ මඩකලපුව නගර ශාලාවේ දී පැවති ‘ජාතික මග’ සමුළුව අමතමිනි.