(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව පාපැදිවලින් ගමන් කිරීම වාර්තාගත ලෙස වැඩිවී ඇති හෙයින් පාපැදිකරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ලෙස පොලිසිය වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර මේ වසරේ මේදක්වා කාලයේදී සිදුවූ රිය අනතුරුවලින් පාපැදිකරුවන් 96 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
එසේම මාර්ග නීති ආරක්ෂා කරමින් මාර්ගවල ගමන් කරන ලෙස පාපැදිකරුවන්ගෙන්ද ඉල්ලීමක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.
විශේෂයෙන් රාත්‍රී කාලයේදි පාපැදියේ ඉදිරිපස විදුලි පහන දල්වා ගමන් කිරීමත් රාත්‍රී කාලයේදී වාහන රියදුරන්ට හොඳින් පෙනෙන ඇඳුමක් ඇඳීමත් ඉතා වැදගත් බව පවසන පොලිසිය පාපැදිකරුවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලබන සතියේදී විශේෂ දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් වාහන ගමනාගමනය සීමා වීම නිසා පා පැදි මිලදී ගැනීමද විශාල වශයෙන් වැඩි වී ඇතැයි පාපැදි අලෙවිකරුවෝ පවසති.
මේ හේතුවෙන් වෙළෙඳපොළේ පාපැදි මිල ගණන් දෙගුණයකින් පමණ වැඩිවී ඈත.
මවුන්ටන් වර්ගයේ පාපැදියක් මේ දිනවල අලෙවි කෙරෙන්නේ රුපියල් 50,000ක පමණ මුදලකටය.