(යොහාන් භාසුර)
පානදුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් බස් රථ හිමියකුට වැඩි මිලට භූමිතෙල් තොගයක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පිරවුම්හලට ඉන්ධන තොග ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම ඉන්ධන පිරවුම්හලට ලැබුණු භූමිතෙල් තොගයකින් වැඩි ප්‍රමාණයක් අදාල බස් රථ හිමියාට ලබාදී ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව ඛනිජ තෙල් සංස්ථාව පරීක්‍ෂණයක් ආරම්භ කළ බවත් භූමිතෙල් ලබාගැනීමට ජනතාව දිගු පෝලිමක රැදී සිටියදී අදාල ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිත්වය අදාල බස් රථ හිමියාට භූමිතෙල් තොගයක් වැඩි මිලට ලබාදී ඇතැයි පැමිණිල්ලේ සඳහන්ව ඇති බවත් එම නිලධාරියා කීය.
එම පිරවුම්හලේ කළමණාකාරිත්වය හෙට (21) දිනයේ ඛනිජ තෙල් සංස්ථාවේ පරීක්‍ෂණ මණ්ඩලය හමුවේ කැඳවා ඇති බවත් එහි ඉන්ධන ඇනවුම් තුනක් මේ වන විටත් අවලංගු කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
“නොවැලැක්විය හැකි හේතුව මත ඉන්ධන සැපයීම තාවකාලිකව අත්හිටුවා ඇත” ලෙස එම ඉන්ධන පිරවුම්හලේ දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබේ.