පානදුර සළිදුට වරෙන්තු


(සුමිත් පොතුපිටිය)

පානදුර සලිදු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිදු මල්ෂික ගුණරත්න නමැත්තාට පානදුර අතිරේඛ මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා විසින් අද (23) වරෙන්තු නියෝග කර තිබේ.

සැකකරුට පානදුර මහාධිකරණයෙන් ලබාදී ඇති ඇප කොන්දේසි මත පෙරේදා ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන  පෙනීසිටින ලෙස ලබාදී ඇති උපදෙස් පරිදි දෙසැම්බර් 22 ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් පානදුර අතිරේඛ මහේස්ත්‍රාත් වරයා හමුවේ ඉදිරිපත් කල කරුණු සලකා බලා එකී වරෙන්තුව නිකුත් කර තිබේ.

සිය සේවා දායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එදින නොපැමිණි බවත් ඉදිරි නඩු වාරයේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත්, ඉදිරි නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනීසිටින බවත්  සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මනෝරිකා විජේතුංග මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියේය.

එමෙන්ම සැකකරු හට මරණ තර්ජන පවතින බැවින් නිතර නිතර අධිකරණ සහ පොලිස් ස්ථාන වෙත ගමන් කිරීම සැකකරු ගේ ජීවිතයට තර්ජනයක් බවටද නීතිඥ මහත්මිය සදහන් කර සිටින ලදී.

සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරණ නඩුවලට අදාලව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ  ඇප  මත නිදහස් කරන ලදි.

ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක්  සිදුකර ඇති බවට ඔහුට එරෙහිව චෝදනා නගා නඩු පවරා  තිබේ.

නීතිඥ මනෝරිකා විජේතුංග නීතිඥ මහත්මීන් විත්තිය වෙනුවෙන් පෙනීසිටින ලදී.

නඩුව 2025 පෙබරවාරි 10  දින යලි කැදවීමට නියමිතව ඇත.