ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිගෙන් පොලිසියට පැමිණිල්ලක්


(යොහාන් භාසුර)

නුගේගොඩ පිහිටි ප්‍රවාහන වෛද්‍ය ආයතන මූලස්ථානයේ සේවකයන් පිරිසක් එහි සභාපතිවරයාගේ රාජකාරිවලට බාධා කරමින් හැසිරෙන බවට කොහුවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (14) පැවසීය.

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතාගේ කටයුතුවලට බාධා වන අයුරින් අද (14) පෙරවරුවේ ද එම සේවක පිරිස හැසිරුණු බවට මෙම පැමිණිල්ල කර ඇති බවත් ඒ පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.

මෙම බාධා කිරීම් පිළිබඳව ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපතිවරයා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ එම අමාතයංශයේ ලේකම්වරයාට ද පැමිණිලි කර තිබේ.  

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එම ආයතනය ජනතාවට බාධවකින් තොරව සේවය සපයන ආයතනයක් බවට පත්කිරීම පිළිබඳව ඇතැම් සේවකයන් සභාපතිවරයාට විරෝධය දැක්වීමට මෙයට හේතුව බවත් දූෂණ ක්‍රියාවල යෙදීමට නොහැකිව සිටින පිරිසක් මෙසේ සභාපතිවරයා බාධා කරන බවත්ය.