පවුල් සෞඛ්‍ය සේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්


(ඩබ්. ඒ. පියතිලක)
 
දේශපාලනඥයින් තවදුරටත් සෞඛ්‍ය නිලධාරිනියට චෝදනා කරන්නේ නම් ලබන සඳුදා සිට දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව  රජයේ පවුල් සෞඛ්‍ය සේවා  සංගමයේ සභාපතිනී  දේවිකා කොඩිතුවක්කු  මහත්මිය අද(20) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පැවසුවාය.
 
තිස්සමහාරාමයේ  නැදිගම්විල මන්දපෝෂණය හේතුවෙන් මියගිය දරුවා පිළිබඳ වගකීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වරදින් වූවක් බව  විවිධ දේශපාලනඥයන් විසින්  තවදුරටත් පවසනවානම් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානම් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
 
හිඟුරක්ගොඩදී අද පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙසේද කීවාය.
 
“තිස්සමහාරාම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට අයත්  නැදිගම්විල ගම්මානයේ පදිංචි ගයත්ත්‍රි ඉන්දිකා මවගේ  මාස 11ක  දරුවා මියයාම ම සම්බන්ධයෙන්  එහි සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා  සංගමයේ නිලධාරිනියට   විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමාගැනීම සඳහා චෝදනා එල්ල කරමින් පවතිනවා.
  
ඒ පවුල් සෞඛ්‍ය සේවා  නිලධාරිනිය විසින්  ඒ මව ගැබ් ගත් අවස්ථාවේ සිට දරුවා ප්‍රසූත කිරමෙන් පසු දක්වා තම රාජකාරිය නිසි ලෙස කර තිබෙනවා. නමුත්  මේ දේශපාලනඥයෝ ඇයට සහ  එම පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට  දිගින් දිගටම චෝදනා කරනවා. 
 
සෑම ගමකම සිටිනවා රජයේ නිලධාරිවරු 6 දෙනෙක්.  මේ මියගිය දරුවාට සහ පවුලට අවශ්‍ය ආහාර ලබාදීම හෝ ලබාගැනීමට කටයුතු කිරීම ඒ අයගේ වගකිමක්.  මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකර අපට චෝදනා එල්ලකිරීම කිසිසේත් පිළිගත නොහැකියි. අපි අපේ සෞඛ්‍ය පැත්තේ සියලු වගකිම් කර තිබියදීත් දිගින් දිගටම චෝදනා එල්ල කරනවා නම් අප විසින් කිසිදු පැකිලීමකින් තොරව සියලු රාජකාරිවලින් ඉවත්  ලබන සඳුදා සිටම දිවයින පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා” යැයි ද රජයේ පවුල් සෞඛ්‍ය සේවා  සංගමයේ සභාපතිනිය  දේවිකා කොඩිතුවක්කු  මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.