(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය මුදල් අවභාවිත කළ නිලධාරීන්ගෙන්ද ඒ සඳහා තීරණ ගන්නා ලද නිලධාරින් හා දේශපාලඥයින්ගෙන් රජයට අහිමි වූ මුදල් ආපසු අය කරගැනීමට සහ ඔවුන් අධිකරණයට යොමුකර දඩුවම් පැමිණවිය හැකි වන පරිදි රජයේ ගිණුම් පිළිබඳ කාරක (කෝපා) සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝපා) බලතල පුළුල් කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවට අද (19) යෝජනා කළේය.
එම අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද රැස්විය.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මෙරට විධායක ජනාධිපති ක්‍රමයට අදාළ සංශෝධන, අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ සංශෝධන, රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අදහස් හා යෝජනා ඇතුළත් යෝජනාවලියක්ද කමිටුවට මෙහිදී බාර දුන්නේය.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය හරහා යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් පවතින නෛතික බාධා ඉවත් කිරීමට අණපනත් සංශෝධනය වීමේ අවශ්‍යතාවද අනුකමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
එමගින් වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කළ හැකි බව එම සංගමය පෙන්වා දුන්නේය.
රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීමට අදාළ කෙටි කාලීන සංශෝධන යෝජනා සති දෙකක කාලයක් ඇතුළත කමිටුව වෙත ඉරිපත් කරන ලෙස මෙහිදී අනුකමිටුවේ සභාපති නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයට දැනුම් දුන්නේය.
ජාතික සභාව හරහා එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ හැකි බවද අනුකමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ජාතික ප්‍රතිපත්තියක සිට රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමෙන් ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් ඉක්මනින් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉටුකර ගත හැකි බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

