( තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේ උපකාරක පන්තියකට සහභාගිවූ 19 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව ගණිත විෂය ඉගැන්වීමේ පෞද්ගලික පන්ති ගුරුවරයෙකුට එම උපකාරක පන්තිය තහනම් කිරීමට පියවර ගත් බව ගම්පහ මූලස්ථානය පවසයි.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ හදාරන තම දරුවා උපකාරක පන්තිය අවසන්ව නිවස බලා එමින් සිටියදී එම උපකාරක පන්තියේම සිසුන් දස දෙනෙකුට අධික පිරිසක් පැමිණ ගම්පහ දුම්රිය ස්ථානය අසලදී පහරදුන් බවට සිසුවාගේ පියා විසින් පොලීසියට පැමිණිලි කොට ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් දරුවාගේ මව ප්‍රකාශ කොට සිටියේ , තම දරුවාට කලින් ගණිත විෂය ඉගැන්වීම සිදු කළ උපකාරක පන්ති ගුරුවරයා විසින් පෙළඹවීම මත එම සිසුන් පිරිසක් වටකර පහරදීම සිදු කළ බව දරුවා පැවසූ බවත්ය.
පහරදීම සදහා පෙළඹවීම කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයාගෙන් නිවසේදී සහ උපකාරක පන්තියේදී ගණිත විෂය හදාරා පසුගිය දෙසැම්බර් මාසයේදී පන්තිය නතර කිරීම හේතුවෙන් එම ගුරුවරයා උරණව සිටි බවද මව සදහන් කළාය.
සිසුන් පිරිසක් යොදවා තම දරුවාට පහර දීම සම්බන්ධයෙන් පියා විසින් ගම්පහ පොලිස්ථානයෙහි ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළ බවත් දරුවාට ප්‍රතිකාර ලබාදීම පිනිස වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කළ බවත් ඇය පැවසුවාය.
සිසුවා රෝහල්ගත කිරීම සම්බන්ධයෙන් වතුපිටිවල මූලික රෝහලෙහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ කලන්තය ඇතිවීම සහ තැලීම් තත්ත්ව මත රෝහල්ගත වූ එම සිසුවා ප්‍රතිකාර ලබා දෙදිනකට පසුව පිටව ගිය බවය.
මෙම පහරදීම සම්බන්ධයෙන් පහරදීම සිදු කළ බව කියන සිසුන් පිරිස සහ පෙළඹවීම සිදු කළ බව කියන 32 හැවිරිදි පෞද්ගලික පන්ති ගුරුවරයාත් පහර කෑමට ලක්වූ සිසුවාගේ පියාත් පොලීසියට කැදවා පරීක්ෂණ සිදු කොට සිසුන් පිරිස උසස් පෙළ හදාරන බැවින් දෙපාර්ශය සමථයකට පත් කළ බවත් ඉගැන්වීම සිදු කළ උපකාරක පන්තියෙහි සෙසු ගුරු මණ්ඩලය සහ පොලීසිය මගින් ගනු ලැබූ තීරණය මත ගණිත ගුරුවරයාට එම උපකාරක පන්තිය තහනම් කිරීමට පියවර ගත් බවත් ගම්පහ මූලස්ථානය ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතා පැවසීය.

