
(විමුක්ති එස් රුද්‍රිගු)
පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය, එරට සන්නද්ධ හමුදා සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැපයීමට මානුෂීය සහන මෙහෙයුමක් ආරම්භ කර ඇත.
සහන මෙහෙයුමේ යටතේ ටොන් 100 මානුෂීය ආධාර තොගයක් සහ 45 දෙනකුගෙන් යුත් මුදා ගැනීමේ කණ්ඩායමක් මෙරටට එවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. සහන පැකේජයට විපතට පත් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරාගැනීමට අවශ්‍ය බෝට්ටු, ජීවිත ආරක්ෂක ජැකට් සහ වතුර ඉවත්කරන මෝටර් ඇතුළත් වන බව පාකිස්තාන මාධ්‍ය පැවැසුවේය.
තවද, ගංවතුරෙන් පීඩාවට පත් වූවන්ට ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ජංගම ක්ෂේත්‍ර රෝහලක් ද ලබාදීමට පකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය තීරණය කර ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.
එසේම තවත් මානුෂීය ආධාර තොගයක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන පකිස්තාන නාවික හමුදාවේ සයිෆ් නෞකාව මගින් මෙරට නාවික හමුදාවට බාර දී ඇතැයිද පාකිස්තාන මාධ්‍ය පැවැසුවේය.

