පක්ෂ කිහිපයක නියෝජිතයෝ හෙට ජනපති හමුවෙති


තරිඳු ජයවර්ධන
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ කතානායක කරු ජයසූරිය මහත්වරුන් අතර ඇතිකර ගන්නා ලද එකඟතාවන්ට අනුව හෙට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයට සහයෝගය දුන් පක්ෂ කිහිපයක නායකයන් ජනපති හමුවීමට නියමිතය.

 
දෙමළ ජාතික සන්ධානයේ නියේජිතයන් හෙට පස්වරු 6ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනපති හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
 
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයන් හෙට පස්වරු 7ට ජනාධිපතිවරයා හමුවීමට නයමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
 
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලැබෙන බව ප්‍රකාශයට පත්වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 117ක් පවතින බවත්, ඉදිරියේ දී එය 120 දක්වා වැඩි වනු ඇති බවත් එක්සත් ජාතික පෙරමුණේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
 
ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කටයුතු කිරීම නිසා ඔහු සමඟ කිසිම සාකච්ඡාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.