නිදහස් වෙළඳ පොදු සේවක සංගමයේ පෙත්සම


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී  අර්ථසාධක අරමුදල් ආයෝජනය කර ඇති බැඳුම්කරවල පොලී අඩු කිරීමට ගත් තීරණය හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් නිදහස් වෙළඳ පොදු සේවක සංගමය ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම පෙත්සම යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ මෙවැනි පෙත්සම් දෙකක් අධිකරණය මගින් නිෂ්ප්‍රභ කර ඇති බැවින් මෙම පෙත්සමද නිෂ්ප්‍රභ කරන ලෙසය.

නිදහස් වෙළඳ පොදු සේවක සංගමය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති

ණය ප්‍රතිව්‍යුගත කිරීමේ ක්‍රියාවලියේදී අර්ථසාධක අරමුදල් ආයෝජනය කර ඇති බැඳුම්කරවල පොලිය අඩු කිරීමට තීරණය කිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම ක්‍රියාවලිය අත් හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් නීතිඥ සුනිල් සුනිල් වටගල මහතාගේ උපදෙස් මත ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පෙනී සිටියේය.