(අංජුල මහික වීරරත්න)
රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
රටේ අනාගතය තීරණය කරනු ලබන්නේ අධ්‍යාපනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා 21 වන සියවසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට කටයුතු කරන බව ද පැවසීය.
එම අධ්‍යාපන ක්‍රමවේදය සැලසුම් කිරීම සඳහා නව අමාත්‍ය කමිටුවක් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී පත් කළ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකුගෙන් එම කමිටුව සමන්විත බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාතර රාහුල විද්‍යාලයේ "රහල් සියවස් ප්‍රතාප" සියවස් සැමරුම් උත්සවයට අද (25) පෙරවරුවේ එක් වෙමිනි.
"රහල් සියවස් ප්‍රතාප " උත්සවයට සමගාමීව විද්‍යාභිමානී අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ කලා උළෙල පුරා දින තුනක් විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.
මාතර රාහුල විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. විදුහල්පති මේජර් සුදත් සමරවික්‍රම මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූ අතර "රහල් සියවස් ප්‍රතාප " සමරු සංග්‍රහය ද පිළිගැන්විණි.
විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන යොනාල් මෙවිදු සිසුවා විසින් එම අවස්ථාවේදීම සිතුවම් කරන ලද ජනාධිපතිවරයාගේ රුව සහිත ආලේඛ්‍යය චිත්‍රය ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.



