දේශීය ආදායම් පළමු ශ්‍රේණියේ 30 කට සතියක පුහුණුවක්


(යොහාන් භාසුර)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් 30 දෙනෙක් ලබන සඳුදා සිට අඛණ්ඩව දින පහක් ‘ධාරිතා සංවර්ධන’ වැඩසටහනකට සහභාගි කරවීමෙන් එම දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාලවීමේ අවදානමක් පවතින බව එහි සේවකයෝ චෝදනා කරති.

මෙම ‘ධාරිතා සංවර්ධන’ වැඩසටහන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී ලබන 21 වැනිදා සිට 25 වැනිදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට නියමිත බවත් දින පහක් පළමු ශ්‍රේණියේ  නිලධාරීන් අඛණ්ඩව ආයතනයෙන් පිටත සිටීමෙන් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව අපහසුතාවට පත්විය හැකි බව ද සේවකයෝ කියති.

මෙම වැඩසටහන සතියකට දින බැගින් සති පහක් පවත්වන ලෙස ද ඇතැම් නිලධාරීන් යෝජනා කර ඇති බව ද වාර්තා වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (මානව සම්පත් කළමනාකරණ) මහින්ද ගුණවීර මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ මෙ වැඩසටහන නිසා දෙපාර්තමේන්තුව අකර්මණ්‍ය නොවන බවත් එම ‘ධාරිතා සංවර්ධන’ වැඩසටහන සේවා ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන් කළයුතු වැඩසටහනක් බවත්ය.

එම ‘ධාරිතා සංවර්ධන’ වැඩසටහන නොපැවැත්වුවහොත් එම නිලධාරීන්ගේ වැටුප් වර්ධක සහ උසස්වීම් අහිමි වන බව ද මහින්ද ගුණවීර මහතා වැඩි දුරටත් කීය.