(නිමන්ති රණසිංහ)
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් රාජකාරිය පැහැරහැරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෞද්ගලික පැමිණිල්ලක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (15) ඉදිරිපත් වී තිබේ.
අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති "මයිනා ගෝ ගම" දී පහර කා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි ව්‍යාපාරිකයෙකු මෙම පෞද්ගලික පැමිණිල්ල අද (15) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි .
නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ තම සේවාදායකයා සම්බන්ධ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කරන ලෙසය.
ගෝල්ෆේස් සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මෙම අධිකරණය හමුවේ නො කැඳවන ලෙසට ඉල්ලමින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පෙත්සමක් ඉදිරිපත්කල නීතීඥවරුන් අතර තමා ද සිටින බැවින් නඩුව මෙම අධිකරණයේ විභාග වීමෙන් සේවාදායකයාට අගතියක් වනු ඇතැයි නීතිඥ සෙනෙවිරත්න මෙනවිය අධිකරණයට දැනුම් දුන්නාය.
ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම පරිදි මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම පුද්ගලික පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ සෙයිඩ් මොහොමඩ් නියාස් මව්ලානා නැමැති ව්‍යාපාරිකයා ය.
තමා ඉකුත් මැයි මස 9 වැනිදා මයිනා ගෝ ගම දී සිදුවූ සිද්ධියේදී දරුණු ලෙස පහර කෑමට ලක්ව තුවාල ලබා රෝහල් ගත කළ බවත් බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය රාජකාරී නිසි අයුරින් ඉටු කළේ නම් තමන් එලෙස පහර කෑමට වෙනස් නොවනු ඇති බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර තිබිණ .
මෙම නිලධාරියා සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකර පොලිස් ආඥා පනතේ 56, 82, 83 යන වගන්ති උල්ලංඝනය කර ඇති බවත් ඒ හේතුවෙන් එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිල්ල ඉල්ලා ඇත.