දේශපාලන සූදු නතර කර රට ගොඩනැගීමට ස්ථාවර ජනවරමකට අවස්ථාව දෙන්න.


(නිමල කොඩිතුවක්කු)

රටේ ජනතාවට ජීවත් වීම පවා ගැටලුවක් වී ඇති අවස්ථාවක දේශපාලන සූදු නතර කර  රට ගොඩනැගීමට ස්ථාවර ජනවරමකට අවස්ථාව දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(29) ප්‍රකාශ කළේය.

ලක්ෂ 220ක්වූ ජනතාවගේ ජීවත් වීමේ අහිමි වී ඇති මොහොතක දේශපාලන ඔලු ගෙඩි මාරු වීම්, සංගීත පුටු තරග, මැති ඇමති හුවමාරුකම් ආදී ඩීල් සංස්කෘතිය තවදුරටත් වර්ධනය වෙමින් ඉදිරියට යන තත්ත්වයක් උද්ගතව ඇතැයිද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන් සම්පුර්ණ කිරීමට වත්මන් රජයට හැකියාව නොලැබී ඇති බවත් රජයේ ප්‍රමුඛතාව වී ඇත්තේ ජනතාවගේ ජීවිත ස්ථාවර කිරීම  වෙනුවට ඔවුන් ස්ථාවර වීම බවත් කොළඹදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝක බැංකුව, ෆිච් ශේණිගත කිරීමේ ආයතනය මෙන්ම සමන්තා පවර් වැනි විවිධ රාජ්‍ය තාන්ත්‍රිකයන් පැහැදිලිව කියන්නේ රට ගොඩනැගීමට රටේ ස්ථාවරත්වය ශක්තිමත් විය යුතු බැවින්  සාර්ව ආර්ථික රාමුවක් පැවතිය යුතු බවත් ප්‍රේමදාස මහතා කීවේය.

මේ තත්ත්වයෙන මිදීම සඳහා රටට නව රජයක් අවශ්‍ය බවත් එය පෞද්ගලික ගිවිසුමකින් තොර නව ජනවරමකින් පමණක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ සඳහා ගෞරවනීය මහානායක හිමිපානන් වහන්සේලා ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන් ද ඉල්ලන නව ජනවරමකට යා යුතු බැවින්  මේ දේශපාලන සූදුව වහා නතර කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.