දූෂණ විරෝධී පනත බලගන්වමින් ගැසට්ටුවක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ අල්ලස දූෂණය වැළැක්වීම සඳහා  ඉදිරිපත් කෙරුණු   දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ  (2023 අංක 9 දරන) විධිවිධාන ලබන 15 වැනිදා සිට  බලගැන්වෙයි.

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙන දිනය ලබන 15 ලෙස දක්වමින් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

ඔහු මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ   දූෂණ විරෝධී පනතේ 1 වැනි වගන්තියේ (2) උපවගන්තියෙන් පැවරී ඇති බලතල අනුවය.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය ජුලි මස 6 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති හෙයින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නව කොමිෂන්  සභාව ඉදිරි දිනවල ස්ථාපනය කිරීමට  අවස්ථාව උදාවනු ඇත.