
(අංජුල මහික වීරරත්න)
සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද (24) පෙරවරුවේ පැවැත්විණි.
පළමු ලෝක යුද සංග්‍රාමයේ සිට වර්තමානය දක්වා මාතෘභූමියේ සුරක්ෂිතතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය හා ඔවුන්ට ගෞරවය පුද කිරීම සඳහා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් (විශ්‍රාමික) අජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිගනු ලැබීය.
දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ද පැවැත්වූ අතර, අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරාධිතයෝ සහ සේවා මුක්ත භට සංගමයේ නියෝජිතයෝ යුද ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, නාවික හමුදාපති වයිස් අදමිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු, විදෙස් තානාපතිවරු, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන්, රට වෙනුවෙන් දිවිපිදූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





