( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර එම තනතුරු සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ඉකුත්දා ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ලබන මස 7 වැනිදා සළකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
පූජ්‍ය දඹර අමිල හිමියන් සහ හිටපු ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරියකු වන ඕෂල හේරත් යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම් අද (7) ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ ලැබීය.
එදිනට වගඋත්තරකාර පාර්ශ්ව වෙත නොතිසි ලබාදෙන මෙන් ද නියම කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් ඔක්තෝබර් මස 26 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය උල්ලංඝණය වන බවයි.
ඒ අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා සිටිති.

