
(රෝෂන් තුෂාර)
සමගි ජන බලවේගය පක්ෂ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සිදුකළ අසත්‍ය ප්‍රකාශයකින් සිය කීර්තිනාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය වරිය ගොනු කළ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 2 දා සිදුකිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු යූ.එස්.කේ.කේ වැරණියගොඩ මහතා දින නියම කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය විසින් විරෝධතා ගොනු කිරීමෙන් පසුව මෙසේ දින නියම කළේය.
2024.අගෝස්තු.19 දින මාවනැල්ල ප්‍රදේශයේ පැවැති සමඟි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිවරණ දේශපාලන රැලියක් අතරතුරදී ජාතික ජනබලවේගය පක්ෂ රජයක් පිහිට වූ පසු ශ්‍රී දළදා පෙරහැර පැවැත්වීම නවත්වන බවට සිදුකළ අසත්‍යය ප්‍රකාශය මගින් අගතියක් හා අපකීර්තියක් සිදුවූ බවට ප්‍රකාශ කරමින් මෙම වන්දි නඩුව සමඟි ජනබලවේග පක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ,පුද්ගලික ගුවන් විදුලි සමාගමක් වගඋත්තර කරමින් ගොනුකොට තිබිණ.
ප්‍රධාන මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක සිදුකළ මෙම අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තමන් පොදු ජනතාව ඉදිරියේ අවමානයට, අපවාදයට, ලැජ්ජාවට හා පිළිකුලට ලක් කිරීම වග උත්තරකරුවන්ගේ අරමුණ වී ඇති බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මඟින් කරුණු ඉදිරිපත් කර ඇත.
හිටපු මන්ත්‍රීවරයා සිදුකර ඇති එම අසත්‍ය ප්‍රකාශය එක්තරා රූපවාහිනී නාලිකාව ප්‍රවෘත්ති විකාශනයේ දී ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස විකාශනය කළ බව හා එම නාලිකාවේම පත්තර විස්තර වැඩසටහන මඟින් පසුදින එය නැවත ප්‍රමුඛතාවයක් ලබා දී ප්‍රචාරයක් කළ බවත් පැමිණිලිකාරිය පැමිණිල්ල මඟින් අධිකරණයට පවසා තිබෙනවා.

