ත්‍රස්තවාදීන්ට මුහුණ දිය හැකි හොඳ නායකයෙක් රට තෝරගෙන තියෙනවා


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අරගලයේ ත්‍රස්තවාදීන්ට මුහුණ දිය හැකි හොඳ  නායකයකු රට තෝරාගෙන ඇති බවත් දැන් රට ගැන රටේ දරුවන් ගැන සිතා සියලු දෙනා සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ විය යුතු බවත් සමගි ජන බලවේගයේ  කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.

අරගලයේ තරුණයන් පිටුපස සිටින්නේ ත්‍රස්තවාදී  නායකයන් පිරිසක් බවද ඔහු සඳහන් කළේය.

වෙල්ගම මහතා මෙසේ පැවසුවේ  හදිසි නීතිය ගැසට් නිවේදනය පිළිබඳ විවාදයේ දීය.

කුමාර වෙල්ගම මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

තරුණයන් ඉදිරියට දාලා ත්‍රස්තවාදී නායකයන් පසුපස සිටිනවා. මේ රටේ ජනතාව අද ගොඩක් දුක් විඳිනවා. අද කන්න විදියක් නෑ. මේ ගැන මම ගොඩක් කනගාටු වෙනවා. මිනිස්සු පෝලිම්වල මැරෙනවා. 

මම ඒකයි කිව්වේ ගෝඨාභයට බෑ කියල.  පිරිසක් මාව කොට්ටාවේදී වටකරගෙන ගහන්න පටන් ගත්තා. මට පොලු වලින් ගැහුවා. එතන හිටිය වැඩිහිටි අය කිව්වා . මෙයා තමයි මුලින්ම ගෝඨාභයට විරුද්ධ වුණේ කියලා. නෑ නෑ මූත්  225න් එක්කෙනෙක්. මූවත් මරන්න ඕන කියලා ඒ කට්ටිය කිව්වා. මාව ඇදලා ගන්න කොට කාර් එක ගිනි ගන්නවා. තව විනාඩි දෙකක් හිටිය නම් මම වාහනේ ඇතුළේ ගිනි අරගෙන මැරෙනවා.මාව විතරක් නෙවෙයි.

මන්ත්‍රීවරු අනූ තුන්දෙනෙකුට ගැහුවා.  මේ වගේ දේවල් වලට අපිට ඉඩ දෙන්න බෑ. මට ගහපු තරුණයෝ ගැන මම දුක් වෙනවා. මගේ ආයුෂ විස්සක් තිබුණනම්
ගුටි කාපු නිසා ඒක දහයට බැස්සා.

මට ගහපු තරුණයන්ට හිරිහැර කරන්න එපා. ඒ අය පිටු පස්සේ ඉන්නේ ත්‍රස්තවාදී නායකයෝ. ත්‍රස්තවාදී නායකයන්ට ඔළුව උස්සන්න දෙන්න බැහැ. මුලින්ම අරගලයට ආවේ හොඳ මහත්තුරු. ඒ අතරේදී ත්‍රස්තවාදී නායකයන්ගේ මගපෙන්වීම යටතේ ගෝලයන් ඇවිත් රට විනාශ කළා.

අද හොඳ නායකයෙක් තෝරගෙන තියෙනවා. මේකට මුහුණ දෙන්න පුළුවන් නායකයෙක් තෝරගෙන තියෙනවා. ඩලස් මම හොඳ දන්න කෙනෙක්.එයා හිටිය නම් නටන්නෙ ත්‍රස්තවාදීන් කියන විදියට.  විපක්ෂ නායක තුමාටත් මම එක දෙයක් කියනවා. ඔබතුමා සමඟ සාකච්ඡාවන්ට එන ත්‍රස්තවාදී නායකයන් ඔබට හිතවත් නැහැ. මේ බොරුවට රැවටෙන්න එපා. මේක ඉතාම භයානක අවස්ථාවක්.

අපි දැන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන්න ඕන.  රට ගැන හිතන්න ඕන. රටේ දරුවො ගැන හිතන්න ඕන. රනිල්ටත් මේක කරන්න බැරිනම්  ගෙවල් වල ඉන්න මහත්වරු ආපහු කෝච්චිවල නැඟලා ඒවි. කොහොම වුණත් එතුමාට  මම  ස්තූතිවන්ත වෙනවා. මේ වගකීම අරගෙන වැඩ කරනවට.