තංගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට


අනීෂා මානගේ 

                                             
තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පොලිස් සැරයන්වරයකුගේ නිවෙසකට රතිඤ්ඤා දල්වා දැමීම නිසා ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පොලිස් සැරයන්වරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහු පවසති.   
                          
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වන කළුආරච්චිගේ සමන් කුමාර නම් අයෙකි. 
               
තංගල්ල කාර්ල්ටන් නිවෙසේ ආරක්ෂක නිලධාරීයකු ලෙස සේවය කරමින් සිටින තංගල්ල විතාරන්දෙණිය ඉහළගොඩ ප්‍රදේශයේ පදිංචි ඕබඩආරච්චිගේ සමන්ත චන්දන නම් පොලිස් සැරයන්වරයකුගේ නිවෙසට මෙලෙස රතිඤ්ඤා දල්වා දැමීම නිසා දෙපිරිස අතර ආරවුලක් හට ගෙන ඇති අතර ඉන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.                                                           
තුවාලකරුවන් අතර පොලිස් සැරයන්වරයාත් සැරයන්වරයාගේ පුංචි අම්මා නම් කාන්තාවක සහ අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සොහොයුරා  ද සිටිති. ඔවුන් වීරකැටිය දිසා රෝහලේ සහ තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.