ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි


(ටී.කේ.ජී.කපිල)

ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (21) රාත්‍රී පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඊයේ දින සවස 06.27ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.

ඒ.- 330 එයා බස් වර්ගයේ   මෙම ගුවන් යානය තුළ මගීන් 256 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සිට තිබේ.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී පැය 01 විනාඩි 06 කට පසු , ගුවන් යානය තුළ වායු පීඩනය අඩු වීම නිසා යළිත් ආපසු හරවා කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ දින රාත්‍රී 07.33 ට ගොඩ බස්වා තිබේ .

ඉන්පසුව එම ගුවන් යානයේ සිටි ගුවන් මගීන් , ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් වෙත යොමු කර තිබේ .

මෙම ගුවන් යානය මේ වනවිට අවශ්‍ය කාර්මික නඩත්තු කටයුතු සිදු කරමින් ශ්‍රී ලන්කන් ඉංජිනේරුවරුන් පිරිසක් අලුත්වැඩියා කරමින් සිටිති .

මෙම ගුවන් යානය වෙනුවට , ඒ.- 330 එයා බස් වර්ගයේ වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යොදවා මෙම මගීන් පිරිස අද (22) දින පෙ.ව 11.33 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ .