ජාතික සම්මුතියක් ඇතිකරගැනීමට පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරනවා


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට විවිධ දේශපාලන පක්‍ෂ නියෝජනය කරමින් නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්කරගෙන සිටින බවත්, මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය සොයා බලන ලෙස සියලු මිත්‍ර රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව” වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (26) අමතමිනි.

ජපානයේ “නික්කෙයි” පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව සංවිධානය කරන මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “බෙදී ගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම” යන්නයි.

ශ්‍රී ලංකාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බව කී ජනාධිපතිවරයා වර්තමාන ජාතික අර්බුදයට විසඳුම් එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන්ම ක්‍රියාත්මකවීම ඉතා වැදගත් බව සඳහන් කළේය.

කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ පහත වැටීම, දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම සහ ශ්‍රී ලංකාවේ ඉහළ ණයබර හා අනෙකුත් සිදුවීම් හේතුවෙන් උද්ධමනය ඇතිවූ බව කී ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සුදුසු වැඩසටහනක් වෙත යොමුවීමට සමගාමීව ණය හිමියන් සමග සාකච්ඡා කර බාහිර රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිප්‍රායයෙන් ණය ගෙවීමෙන් නැවතී සිටීමක් නිවේදනය කර ඇතැයි ද කීවේය.

මෙවැනි විසඳුම් හරහා කටයුතු කරන විට අත්‍යාවශ්‍ය ඖෂධ, ආහාර සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීමට  ශ්‍රී ලංකාවට කඩිනමින් මිත්‍ර රාජ්‍යවල සහාය කඩිනමින් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා කීය.

මෙරට ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය සඳහා දරණ උත්සාහයට ජපානයේ සහාය හිමිවනු ඇතැයි විශ්වාස කරන බව ද රාජපක්‍ෂ මහතා පැවසීය.