
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ සිරුර සිය නේවාසිකාගාරය තුළ දී එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බව මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් , නාරාතනායි උතුර හි පදිංචි විග්නේෂ්වරන් අබිනෙජන් (23) හැවිරිදි සිසුවෙකු බව පොලිසිය කියයි .
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය බොරලැස්ගමුව කටුවාවල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගෙන තිබූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ බිම් මහලේ මෙම සිසුවාගේ සිරුර එල්ලෙමින් තිබී ඇත.
මේ බව නේවාසිකාගාරයේ ඉහළ මාලයේ නිදා සිටි සිසුවකු අද (16) අලුයම 4.30 පමණ අවදි වී පහළ මාලයට එමින් සිටියදී මේ බව දැක කෑ ගැසීමත් සමග අනෙක් සිසුන්ට ද ඇසී පැමිණ පණ ඇති බව සිතා සිරුර එල්ලෙමින් තිබූ ලණුව කපා තිබේ.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී එහි නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කොට මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්.එම්.ඩග්ලස් රූපසිරි මහතා පැමිණ ස්ථාන පරීක්ෂණයක් සිදු කරන ලදී.
ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතව තිබුණි.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතය .
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වති.

