පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 04 වැනි දා එම සිද්ධියේ අනිත් පෙත්සම් සමඟ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනු කර තිබූ එම පෙත්සම බුවනෙක පී අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ එල් ටී බී දෙහිදෙනිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.
මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති අතුරු නියෝග මේ වන විටත් නිකුත් කර ඇති හෙයින් මෙම පෙත්සම ද එම සිද්ධියට අදාල අනිකුත් පෙත්සම් සමඟ කැඳවීමට අධිකරණය තීරණය කළේය.
මෙම සිද්ධියට අදාළ අනිත් පෙත්සම්වල තීන්දුව මෙම පෙත්සමට අදාලව ද ක්‍රියාත්මක වන බව අධිකරණයේදී ප්‍රකාශ විය.
නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, කොමිෂන් සභාවේ සාමාජිකයන් වන නලීන් අබේසේකර සහ මහාචාර්ය රත්නජීවන් හුල් මහත්වරු පෙත්සමෙන් වගඋත්තරකරුවෝය.
නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ සහ නීතීඥ මිගාර ඩොස් යන මහත්වරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කර ඇති අතර එම නීතීඥවරු අද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.