ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයි


 

(තරිදු ජයවර්ධන, තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

මෙම තීන්දුව විනිසුරුවරුන් හත්දෙනාගේම එකමතික තීන්දුවක් විය. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කාලය පළමු රැස්වීමේ සිට වසර 4 කුත් මාස 6 ක් සම්පූර්ණ වීමෙන් පසුව හෝ පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කරවාගත් යෝජනාවක් මගින්  පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව විනිසුරු සිසිර ද ආබෘෘ මහතාගේ නිගමනය විය. 

තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසිනි.විනිසුරුවරුන් 5 දෙනෙකුගේ එකඟත්වයෙන් එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

කෙසේ වෙතත් විනිසුරු සිසිර ද අබෘ මහතා  පමණක් වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර ඒ මහතා ප්‍රකාශ කළ හේතූන් මත ජනාධිපතිගේ ගැසට්ටුවට අවලංගු කිරිමේ අගවිනිසුරුගේ තීන්දුවට තමා ද එකඟතාවය පළ කරන බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය නිසා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද අධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ,   ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග කෙරිණි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කරනු ලැබූ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා ඇතුළු පිරිසක් ද  2018 නොවැම්බර් 12 වැනි දා උදේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ගොනු කළහ.

මෙම පෙත්සම් කඩිනමික් කැඳවීමේ අවශ්‍යතාවය මත අගවිනිසුරු නලීන් පෙරේරා , ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ එදිනම පෙත්සම් කැඳවූ අතර නීතිපතිවරයාට කරුණු දැක්වීම සඳහා කාලය අවශ්‍ය බවට ප්‍රකාශ වූයෙන් එදින පස්වරු 2 තෙක් කල් තබා සවස් වරුවේ යළිත් පෙත්සම් කැඳැවිණි.

මේ අතරතුර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු තවත් පාර්ශව කිහිපයක් ද ජනපතිගේ ගැසට්ටුවට එරෙහිව පෙත්සම් 8ක් ඉදිරිපත් කර තිබිණි.  ජනපතිගේ ගැසට්ටුවට එරෙහි සියලුම පෙත්සම් නිශ්ප්‍රභා කරන ලෙස ඉල්ලමින් ජී ඇල් පීරිස් මහතා ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් 08ක්  ඉදිරිපත් කළහ.

නොවැම්බර් 12 වැනි දා සවස්වරුවේ සහ 13 වැනි දා සවස 3.30 පමණ වන තෙක් පෙත්සම් සඳහා කරුණු දැක්වීම සිදුවිය. ඉන් පසුව පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීන්දු කිරීම සවස 5.30 දක්වා කල් තැබිණි. එදින පස්වරු 5.50ට පමණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විනිශ්චයාරූඪ වූ අතර පස්වරු 5.55ට පමණ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පාර්ලිමේන්තුව විසිරුවාලමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්ටුවට එරෙහි මුල් පෙත්සම් 10 විභාග කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල ඒ සඳහා දෙසැම්බර් 04, 05 සහ 06 දක්වා දින නියම කළේය. පෙත්සම්කරුවන් අයැද සිටි අතුරු නියෝග කිහිපයක් ද ලබා දුන් අධිකරණය දෙසැම්බර් 07 වැනි දා වන තෙක් ජනාධිපතිවරයා විසින් නිකුත් කැරුණු ගැසට්ටුව තාවකාලිකව අත්හිටැවූ අතර ඒ වන තෙක් මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝග කළේය.

ජනාධිපතිගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ගොනු කළ ඉතිරි පෙත්සම් අට ද අවස්ථා දෙකකදී කැඳවුණු අතර ඒ සියලු පෙත්සම් දෙසැම්බර් හතර වැනි දා අනිකුත් පෙත්සම් සමග කැඳවීමට නියෝග කැරිණි.

ජී ඇල් පීරිස් මහතා ප්‍රමුඛ අතරමැදි පෙත්සම්කරුවෝ මෝසමක් මගින් මෙම පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටියහ. එය පිළිගත් අග්‍රවිනිශ්චකාර නලීන් පෙරේරා මහතා පෙත්සම විභාග කිරීමට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ,   ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු  ප්‍රනාන්දු එම විනිසුරුවරුය.

මෙම සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය හතර වැනි දා පෙත්සම් විභාගය ඇරැඹිණි. එතැන් සිට පුරා දින හතරක් පුරා පෙත්සම් විභාගය සිදු විය. මුලින්ම පෙත්සම්කරුවන් කරුණු දැක්වූ අතර ඉන් පසු අතරමැදි පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන්ගේ කැරුණු දැක්වීම සිදු විය. අවසානයේ පෙත්සම්කරුවන්ගේ ප්‍රතිඋත්තර බැඳීමෙන් පසු නීතිපතිවරයා යළිත් වරක් සිය ස්ථාවරය පැහැදිලි කළේය.

දෙසැම්බර් හත් වැනි දා රාත්‍රී 7 ට පමණ පෙත්සම් විභාගය අවසන් විය. ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබූ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පකරන තෙක් ජනපතිගේ ගැසට්ටුව අත්හිටුවමින් දුන් අතුරු තහනම දීර්ඝ කිරීමට නියෝග කළේය.


 

තීන්දුව ප්‍රකාශයට පත්කිරිමෙන් පසු දසුන්


 

තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ දසුන්

ඡායාරූප - චතුර එස් කොඩිකාර

 


උසාවිය අවට ආරක්ෂාව තර කරයි

 

( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ සහ තරිදු ජයවර්ධන)
 
 
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දක්නට ලැබේ.
 
ඒ අනුව කැරලි මර්දන ඒකකය , විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස්  නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙන අයුරු දක්නට ලැබේ.
 
මේ අතර උපරිමාධිකරණයට පිවිසෙන ප්‍රධාන දොරටු දෙකම ආරක්ෂක වැටවල් වලින් ආවරණය කර තිබේ.
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනා‍ධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද (13) තව පැයකින් එනම් පස්වරු  4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. 


අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ,සමස්ත ලංකා මහජන කොංග්‍රසය , මනෝ ගනේෂන් , ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් නොවැම්බර් මස 12 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.

ඡායාරූප - චතුර එස් කොඩිකාර