ජනතාව ඉල්ලන වෙනස කරන්න නම් 21ට සහය දෙන්න


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති බලතල කප්පාදු කිරීමට ගෙනෙන  ලද 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දී රටේ ජනතාව මෙන්ම අරගලකරුවන් බලාපොරොත්තු වූ වෙනස කිරීමට මැදිහත් වන ලෙස සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

ඉදිරිපත් කර ඇති 21 වෙනි සංශෝධනයට අදහස් හා යෝජනා ලබාදීමට පක්ෂ නායකයන්ට අවස්ථාව ලබාදී ඇති බවත් සාධනීය යෝජනා කෙටුම්පතට ඇතුළත් කිරීමට අගමැතිවරයා  සුදානමින් සිටින බැවින් එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නා ලෙස ද විජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.

අධික ජීවන බරක් සහිත මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ  රටේ මූල්‍ය තත්ත්වය බිංදුවටම බැස ඇති නිසාවෙන් බව කී නියෝජ්‍ය නායකවරයා ආණ්ඩුව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අය වැයෙන් ආර්ථික පීඩාවෙන් සිටින ජනතාවට යම් සහනයක් දෙන බව අග්‍රාමාත්‍යවරයා දැනටමත් ප්‍රකාශ කර තිබෙන බවද  කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (24) විද්වත් වෘත්තීකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ය.