(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඇති පුද්ගලයන්ගේ ළඟම ඥාතීන් වන රාජ්‍ය සේවක සේවිකාවන්ද එම කාරණය සැලකිල්ලට ගෙන වෙනත් ප්‍රදේශවලට මාරු කර ඇත්නම් යළිත් මුලින් වැඩ කළ ස්ථානයට පැමිණ රාජකාරි ආරම්භ කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය.
මේ පුද්ගලයන් මෙලෙස මාරු කර යවා ඇත්තේ ඇතැම් ආයතන ප්‍රධානින්ගේ නොදැනුවත්භාවය නිසා බවද ඔහු සඳහන් කළේය.
මහත්තයා මැතිවරණයට ඉදිරිපත් වීම නිසා නෝනාත් නෝනා මැතිවරණයට ඉදිරිපත් වීම නිසා මහත්තයාත් මාරු කර යැවීමේ සිද්ධීන් ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මහත්තයා ඡන්දයට ඉදිරිපත්වීම ගැන නොසතුටෙන් සිටින නෝනලාත් මෙසේ මාරු කර යවා ඇති පිරිසේ සිටින බව පැවසූ වක්කුඹුර මහතා එලෙස මාරුවීම් ලබාදීම නීති විරෝධී හෙයින් එවැනි කටයුතු වහා නතර කළ යුතු බවද පෙන්වා දුන්නේය.
මේ අතර ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට සිය ඡන්ද කොට්ඨාසයෙන් බාහිර වෙනත් ප්‍රදේශයක තාවකාලිකව රාජකාරි කටයුතු කර ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවත් ඔවුනට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට නිර්දේශ ලබාදී ඇති බවත් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. මෙයට අදාල චක්‍රලේඛය ළඟදීම නිකුත් වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

