චමුදිතට එල්ල වූ ප්‍රහාරය සජිත් හෙළා දකියි


(නිමල කොඩිතුවක්කු)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව සිය දැඩි පිළිකුල සහ නොසතුට පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පහරදීම පිළිබඳව ඉතාම කඩිනමින් අපක්ෂපාතී, විධිමත්, විනිවිද පෙනෙන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් , මේ පිළිකුල් ක්‍රියාවට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එරෙහිව එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

රටක සිවුවන ආණ්ඩුව ලෙස සැලකෙන ජනමාධ්‍යට හෝ මාධ්‍යවේදීන්ට කිසිම විටෙක වාරණ නොපැනවිය යුතු බවත්  චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදියා අරභයා ද එය වලංගු වන බැවින් ඔහු වෙනුවෙන්  මාධ්‍ය නිදහස උදෙසා අරගල කරන සියලුදෙනා සමග කොන්දේසි විරහිතව එකට සිටගන්නා බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් කීවේය.