( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ජූනි 14 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක විභාගය අවසන් කරමින් විනිසුරු මඩුල්ල මෙම අතුරු නියෝගය දීර්ඝ කරන ලදී.
මෙම පෙත්සමට අදාළ විභාගය අද (28) අවසන් කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශ කිරීම ලබන ජුනි මස 14 වැනිදා දක්වා කල් තබන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.
2010 වසරේ සිට 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම නඩුව පවරා තිබේ.
එම නඩුව ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී යැයි පවසමින් සිය නීතිඥවරු මතුකළ මූලික විරෝධතාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව තමන් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ සඳහන් කර ඇත.
එබැවින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය දුන් නියෝග නීතිවිරෝධී යැයි තීන්දු කර තමන්ව සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයෙන් අයැද සිටී.
එතෙක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන අදාළ නඩු විභාගය වළක්වමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉදිරි දින දක්වා දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය නියෝග කළේය.

