ගුවන් යානයේ ප්‍රමාදය ගැන ඇමති උත්තර දෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ තරුණයන් පිරිසක් කොරියාවේ රැකියා සඳහා රැගෙන යෑමට සූදානම්ව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය ප්‍රමාද වූයේ  නියමුවා අසනීපවීම නිසා බවත් නිවාඩු ලබා සිටි ගුවන් නියමුවන් විසි දෙනාගෙන්  මේ අවස්ථාවේදී ඒ ගුවන් යානය රැගෙන යෑමට රට වෙනුවෙන් ඉදිරිපත් වන්නැයි  දැනුම් දුන්නත් එකම අයකු  හෝ ඉදිරිපත් නොවූ බවත් වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

රුපියල් සත පසුපස  හඹා යන ලෝකයේ  මෙවැනි දේවල් සිදුවීම අරුමයක් නොවන බවද  ඔහු  සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය අමතා  කළ කතාව පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.

නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.

ගුවන් යානයක් පරක්කුවීම නිසා කොරියාව ගිය පිරිසකට රැකියා නැතිවුණා කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙතන  කිව්වා. එදා කොරියාවට යෑමට  තිබූ ගුවන් යානයේ නියමුවා අසනීප නිසා යන්න බෑ කියලා තියෙනවා. ඔහු ඒ සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒ සහතිකය සභාගත කරනවා.ප්‍රධාන ගුවන් නියමුවා නැතුව ගුවන් යානයක් ගෙනියන්න බැහැ. තව නියමුවන් විසි දෙනකු  හිටියා. නමුත් ඒ සියලු දෙනා හිටියේ නිවාඩු ලබාගෙන.

ඒ අයගෙන් රට වෙනුවෙන්  ඉල්ලා සිටියා එන්න කියලා. නමුත් එක්කෙනෙක්වත් ඉදිරිපත් වුණේ නෑ.

සහෝදර  නිලධාරියකු අසනීප වෙච්ච වෙලාවේදීවත්  සහයෝගයක් දෙන්නේ නැහැ. රුපියල් සත පස්සේ හඹා යන යුගය කියන්නේ මේක.

මේ සිද්ධිය ගැන සමහර මන්ත්‍රීවරුන් විවිධ කතා කිව්වා.කට තිබුණු පලියට මෙතන බොරු කියන්න එපා. මේ සභාව නොමඟ යවන්න එපා.

කටුනායක  ගුවන්තොටුපොළේ ගසා කන ටැක්සි රියදුරන්ට  ඉඩදීමද අප කළ යුත්තේ. ටැක්සි රියදුරන්ගේ නොමනා හැසිරීම් පිළිබඳව පැමිණිලි රාශියක් ලැබෙනවා. වැඩිපුර අය කිරීම් පිළිබඳව.ඌබර් පික්මී  වාහන මේ රටේ අයගේ. මෙය නවීන ප්‍රවාහන  ක්‍රමයක්. සාමාන්‍ය ටැක්සි රියැදුරකු කොළඹට එන්න රුපියල් හයදහස් පන්සියයක් ගන්නවා. මේ අය ගන්නෙ තුන්දාහයි.ඉතින් මේ වැඩපිළිවෙළ නරකද.