ගෑස් ගැන අගමැතිගෙන් සුබ කතාවක්


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70 ක් සහ තවත් ඩොලර් මිලියන් 20 ක් යොදා ගෑස් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීමට  පියවර ගෙත ඇතැයි ද එම ගෑස් තොග ලැබුණු විට ගෑස් හිඟය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

ඉන්ධන ගැටළුව සම්පූර්ණයෙන්ම විසඳීමට තවත් කාලයක් ගත වනු ඇතැයි ද ඒ නිසා ඉතා අරපරිස්සමෙන් ඉන්ධන භාවිත කරන ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍යවරයා කීය. 
ලබන කන්නයේදී හිඟයකින් තොරව ගොවීන්ට පොහොර ලබා දීමට සැලසුම් සකස් කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා කීය.

සහල් මිල පාලනය කිරීම සඳහා  ඉන්දීය ණය ආධාර යටතේ සහල් ගෙන්වා වෙළෙඳපොලට නිකුත් කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය කෘෂි ගොවි පොලවල් පිහිටුවීමට මූලිකත්වය ගන්නා බව ප්‍රකාශයට පත් කර තිබෙන අතර රජයෙන් කිසිදු සහයක් නො ඉල්ලා එවැනි ගොවිපොලවල් පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව  ඔවුන්ට විශේෂ ස්තුතියක් පුද කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයකදී කැමති පක්‍ෂයට රට බාර දෙන්නැයි කී අග්‍රාමාත්‍යවරයා  ඒ වගකීම සහ බලය තියෙන්නේ පුරවැසියන්ට බවද කීය.

රට මෙවැනි තත්වයකට ඇද වැටීමට මූලික වූවා යැයි සිතන අය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ජනතාව සතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

රට ගොඩ නැංවීමට මීට වඩා යහපත් ක්‍රියාමාර්ග තිබේ නම්  දන්වන්නැයි සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බවද අග්‍රාමාත්‍යවරයා කීය.

මේ ඉදිරි ගමනේ පදනම සැකසීම සඳහා අගෝස්තු මාසයේ 2022 ඉතිරි කාලය සඳහා අන්තර් කාලීන අයවැයක් අප ඉදිරිපත් කරන අතර 2023 වසර සඳහා අයවැය ලේඛනය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ ඉදිරි මාර්ග සිතියම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.