ගංවතුර නිවේදන ගැන හොඳ අවධානයෙන් ඉන්න


(අංජුල මහික වීරරත්න)

ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අධික වැසි තත්ත්වය පහව ගියද තවදුරටත්, මධ්‍යම කඳුකරයේ  විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු ජලය ටිකෙන් ටික පහළට ගමන් කරන බැවින් මෙම  ගංවතුර අවදානම මතු වී තිබෙන්නේ යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා  සඳහන් කළේය. 

මේ වන විට දිවයිනේ සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, සමහර අවස්ථාවලදී නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවන් පවතින බැවින්  නිවෙස් කරා යාමේදී  ඒ පිළිබඳ අවධානයෙන් පසු වීමේ වැදගත්කමද අධ්‍යක්ෂවරයා  පෙන්වා දුන්නේය.

එමෙන්ම ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සිට පුත්තලම දක්වා ඇති වෙරළ තීරයේ තවදුරටත් අනතුරු ඇඟවීම් බල පැවැත්වෙන බැවින්  එම සීමාවේ ධීවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

සුළි කුණාටුවේ සෘජු බලපෑම ඉවත් වුවද තවමත් එහි වක්‍ර බලපෑම පවතින බවත්, සුළගේ වේගය පැයට කිලේමීටර් 50 දක්වා ඉහළ යන බවත්, මුහුදු රළ මීටර් 2-3 මට්ටමින් ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. 

අනෙකුත් මුහුදු සීමාවල සුළඟේ වේගය අඩු වී ඇති බැවින්, ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට, එම දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ධීවර කටයුතු ආරම්භ කිරීම හෝ නොකිරීම පිළිබඳ සුදුසු තීරණ ගැනීමට හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.