
(නිහාල් වෙත්තසිංහ)
දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන්, කැලණි ගඟේ ජල මට්ටම නොසිතූ ආකාරයට ඉහළ යෑමත් සමග, හංවැල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ සහ වෙළඳ සැල්ද" අවට ගම්මාන රැසක්ද අද වන විටත් ජලයෙන් යටවී ගොස් තිබුණි.
කැලණි ගඟේ ජල මට්ටම ක්ෂණිකවම වැඩිවීම නිසා සීතාවක, හෝමාගම, යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක් ජලයෙන් යටවීමත් සමගම පීඩාවට පත් පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් කඳවුරුවල සිටින බව ප්‍රාදේශීය ලේකම්වරු පැවැසූහ.
එම අවතැන් කඳවුරු සිටින පිරිස්වලට ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ග්‍රාම නිලධාරිවරුන් මාර්ගයෙන් පිසූ ආහාර ලබාදීම සිදු කරනු ලැබීය.
වනහාගොඩ, හංවැල්ල, ආටිගල, කඩුවෙල, අඹතලේ යන ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ අවිස්සාවේල්ල පරණ පාර වනාගොඩ ප්‍රදේශයෙන් වසා දමා තිබුණි.
හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනයද අද (30) දින පෙරවරු වන විටත් බොහෝ දුරට අඩුවී ගොස් තිබුණි.
සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් 51 ක් ජල ගැලීමෙන් බලපෑමට ලක්වී තිබූ අතර, ජලයෙන් කොටුවී සිටි විශාල පිරිසක් බෝට්ටු මගින් ආරක්ෂ ස්ථාන කරා රැගෙන යෑමට හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ද , යුද හමුදා හා නාවික හමුදා නිලධාරීන් විසින් කටයුතු කරමින් තිබුණි.
හයිලෙවල් මාර්ගයේ කලුඅග්ගල, වනහාගොඩ, පහත්ගම, හංවැල්ල, සහ ආටිගල යන ප්‍රදේශවල ගංවතුර අඩුවීමක් අද පෙරවරු වන විටත් දක්නට නොලැබුණි.
හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ පොලිස් බැරැක්ක සහ ආපදාවට පත් රථ වාහනද, සුළු පැමිණිලි අංශය, ජලයෙන් යටවී තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.
ජල ගැලීම හේතුවෙන් අවතැන්ව සහ පීඩාවට පත්ව සිටින බොහෝ පිරිසක් සිටින අවස්ථාවක, එම ජල ගැලීම නැරඹීමට හා විනෝද වීමට පැමිණ පිරිස් පාලනය කිරීමට හංවැල්ල පොලිස් ස්ථාන නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් ගන්නා අයුරු දැක ගත හැකි විය.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථාන ගතකර ඇති ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිළධාරීන්ද, ප්‍රාදේශීය ලේකම්වරයා සහ, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයාද, කාර්යාලයේ නිලධාරීන්, සහ ග්‍රාම නිලධාරීන්ද සීතාවක සහ හංවැල්ල සම්බන්ධීකරණ කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇතුළු සීතාවක ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ද දිවා රාත්‍රී දෙකෙහිම පීඩාවට පත් ජනතාව වෙනුවෙන් තම සේවය නොපිරිහෙළා ඉටු කරන අයුරු දැකගැනීමට හැකි විය.






