
(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථගාල් ඉදිකරනු ලැබේ.
ඉන් රථගාල් දෙකක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ද අනෙක් රථගාල් දෙක පෞද්ගලික අශය විසින් ඉදිකෙරෙනු ඇත. කොළඹ ටොලිකොම් ආයතනය ඉදිරිපිට, පැරණි මාළු වෙළඳ පොළ, නාරාහේන්පිට ප්‍රදේශවල මෙම රථගාල් ඉදිකිරිමට නියමිතය.
ඒ අතරින් පෞද්ගලික අංශයේ දායකත්වය යටතේ ඉදිකළ කොළඹ 02, යූනියන් පෙදෙස පොදු රථ ගාල ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණි.
ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගම විසින් මෙම රථගාල ඉදිකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1,400ක් වැය වී ඇත. මෙහි හිමිකාරිත්වය වසර 30න් පසුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරේ.
මහල් අටකින් සමන්විත මෙම රථගාලේ වාහන 300ක් පමණ ගාල් කිරීමට හැකියාව ඇත. රථගාලේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ පරිගණක ඔස්සේය. නවතා තබනු ලබන සියළුම වාහනවල සම්පූර්ණ ආරක්ෂාව මෙහි සපයා ඇත. ඒ අනුව මාසිකව ලැබෙන ආදායමෙන් 20%ක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දීමට ගිවිසුම් ගතව ඇත.


