කොවිඩ් රෝහල්වලට කෝටි 11 ක ඇදන්


(යොහාන් භාසුර)

කොවිඩි රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල්වලට සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සැපයීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 11 ක් පමණ වටිනා ඇඳන් 750 නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

මෙහිදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇඳන් 250 ක් සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව ඇඳන් 500 ක් නිෂ්පාදනය කිරීමට නියමිත අතර රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තු ඇඳන් 100 ක් ද, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇඳන් 60 ක් ද මේ වන විටත් නිෂ්පාදනය අවසන් කර තිබේ.

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව ඇඳන් 50 බැගින් මුල්ලේරියාව රජයේ රෝහලට සහ නවගමුව රජයේ රෝහලට ප්‍රදානය කළේය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව නිෂ්පාදනය කළ ඇඳන් 60,  ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පසුගියදා බාර දුන්නේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ඉන් ඇඳන් 50 ක් කොස්ගම රජයේ රෝහලට ද, ඉතිරි ඇඳන් දහය පොල්ගස්ඕවිට වෑතර රජයේ රෝහලට ප්‍රදානය කළේය.

ඇඳන් නිෂ්පාදනය රජයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේ ද, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් ජා ඇල, ඒකල සහ රත්මලානේ වැඩබිම්වලදී ක්‍රියාතේමක වේ.

මෙම ඇඳක් නිෂ්පාදනයට රුපියල් 20,000 ත් 23,000 ත් අතර මුදලක් වැය බවත් අතර ඇඳන් 500 සඳහා රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වැය වන බවත් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට හැකි ඉක්මණින් ඇඳන් නිෂ්පාදනය කර රෝහල්වලට ලබාදෙන ලෙස උපදෙස් දී තිබේ.