(සුජිත් හේවාජුලිගේ )
දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ හෑල්ලුවට නොගන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දැනට සිටින රෝගීන් ප්‍රමාණයට වඩා රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
නිවෙස් ගත කෙරුණු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද සීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජනතාව පවතින තත්වය හෑල්ලුවට නොගත යුතු බවද පැවසුවේය.
විශේෂයෙන්ම කොවිඩ් එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාගැනීමට සමාජයේ යම් පසුබෑමක් පවතින බවත් එය ඉතාම නරක තත්වයක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම වයස්ගත දුර්වල පුද්ගලයන් ඉතා කඩිනමින් තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වැදගත් බව පැවසූ හේමන්ත හේරත් මහතා කොවිඩ් සංකූලතා සහ මරණ අඩු කිරීමට එය පිටුබලයක් වන බවද කීවේය.
මියයන පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් වයෝවෘද්ධ දුර්වල අය බවද ඔහු කීවේය.
ඔක්සිජන් ධාරිතාව සහ දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව දැනට පවතින්නේ කළමනාකරණය කරගත හැකි තත්වයේ බව පැවසූ හේරත් මහතා රෝගීන් වැඩි වුවහොත් ඒ තත්වය ඉතා ඉක්මනින් වෙනස් විය හැකි බවද ප්‍රකාශ කළේය.
දිනකට රෝගීන් දහසක් ඉක්මවා ස්ථිරවම හමුවෙද්දී රෝග ලක්ෂණ නොපෙන්වන නිරෝගී පුද්ගලයන් රෝගය රැගෙන ගොස් දුර්වල අයට ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

