කොටින්ගේ රන්වලට ඉව ඇල්ලූ අයි.පී මාට්ටු


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ වසන්ත චන්ද්‍රපාල)

එල්ටීටීඊ සංවිධානය වළ දමා ඇති බව කියන රන් තොගයක් ගොඩ ගැනීමට  සඳහා අධි බලැති ස්කෑන් යන්ත්‍රයක් රැගෙන මෝටර් රථයකින් ගමන් ගත් බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු 4 දෙනකු කරදියනාරු ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සෙසුකරුවන් තිදෙනා ව්‍යාපාරිකයෝ වෙති

සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මිරිහාන මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී  අසනීප නිවාඩු වාර්තා කර සිටි අයකු යැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කරදියනාරු පොලිස් වසමට අයත් තාරකාඩු ප්‍රදේශයේ ස්ථානයක කැණීම් කිරීමට මෙම සැකකරුවන් ගොස් ඇතැයි කියති.

මෙම ප්‍රදේශයේ එල්ටීටීඊ සංවිධානය  යුද සමයේ වළ දමා ඇති බවට සැලකෙන රත්ත්‍රන් තොගයක් ගොඩ ගැනීමට යැයි කියමින් කැණීම් සිදුකරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු කණ්ඩායමක් මීට පෙර සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔවුන් තවමත් රිමාන්ඩ් භාරයේ පසුවෙති .