කෙහෙළියගෙන් කොන්දේසියක්


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එක් අවස්ථාවක හෝ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඖෂධ ගෙන්වා තිබෙනවා යැයි ඔප්පු කළොත් තනතුරෙන් ඉවත් වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එසේ වුවහොත් විශ්වාස භංග අවශ්‍ය වන්නේ නැතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.

සමස්තයක් ලෙස ගතහොත් රාජ්‍ය මුදල් අමාත්‍යංශය විසින් නිර්දේශ කර තිබෙන ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ක්‍රියාත්මක කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

හදිසි මිලදී ගැනීම් සහ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මිලදී ගැනීම් යන චෝදනා  සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව බෙහෙත් ගෙන්වා කොමිස් ගන්නා බවට කතාවක් ඇතැයි ගුණපාල රත්නසේකර මහතා එහිදී පැවසීය.