කුල දරුවන් සසුන් ගත කිරීමේ අවම වයස් සීමාවක්


(යොහාන් භාසුර)

කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරු සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 

මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ මහනුවර මල්වතු හා අස්ගිරි මහාවිහාරයන්හි පැවැති සාකච්ඡාවෙන් අනතුරුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එසේ සඳහන් කළේය.

මල්වතු පාර්ශවය වෙනුවෙන්,මහනුවර උපොෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාහර්‍ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවය වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම සාකච්ඡාවට එක්වුහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක, අතිරේක ලේකම් (ආගමික කටයුතු) එච්.එන්.කුමාරි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (වැ.බ) කීර්ති සිරිබද්දන යන මහත්ම මහත්මිහු මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.