
(උපාලි ආනන්ද සහ බී.ඩබ්ලිව්.ඩි. ධර්මකීර්ති)
එප්පාවල ඇඳගල ප‍්‍රදේශයේදි හෙරොයින් කිලෝ 1 යි ග‍්‍රෑම් 184 යි මිලි ග‍්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා සහ අනෙක් සැකකරුවකු දින 7 ක කාලයක් රඳවා ප‍්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් ගයත‍්‍රී හෙට්ටිආරච්චි මහත්මිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට නියෝග අවසර දුන්නාය.
මෙම සැකකරුවන් දෙදෙනාගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර විමර්ශන පොලිස් නිළධාරින්ට ලබා දෙන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වල කළමනාකාරිත්වයට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරිය සැකකරුවන්ගේ ජංගම දුරකථනවල අදාල විශ්ලේෂණ වාර්තා විමර්ශන පොලිස් නිළධාරින්ට ලබා දෙන ලෙසට සියලූම රාජ්‍ය සහ පෞද්ගලික දුරකථන සමාගම් වල කළමනාකාරිත්වයට නියෝග කරනු ලැබුවාය.
සැකකරුවන්ට වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය වේවනම් ලබා දෙන ලෙසද පොලිසියට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරිය සැකකරුවන් රඳවා තබාගෙන ප‍්‍රශ්න කරන දින 7 ක කාලයට පෙර විමර්ශන අවසන් වුවහොත් ඒ බව අධිකරණයට දැනුම් දෙන ලෙසත් එලෙස විමර්ශන අවසන් නොවුනහොත් සැකකරුවන් මේ මස 12 දින යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙසේ රඳවා තබා ගෙන ප‍්‍රශ්න කරනුයේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු වන ජයන්ත බාලසූරිය සහ තරිදු ධනංජය වික‍්‍රමසිංහ යන සැකකරුවන්ය.
සැකකාර විදුහල්පතිවරයා විදුහල්පති තනතුරේ රාජකාරි කරන අතරවාරයේ දිර්ඝකාලයක් සිට හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇති බවට මුලික පොලිස් විමර්ශණ වලදි අනාවරණය වු පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.


