
(අංජුල මහික වීරරත්න)
කුඩු විකුණන සියලු දෙනා වහාම යටත් වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30)ඉල්ලා සිටියේය.
කිසිවකුත් සැඟවී නැතැයි කී ජනාධිපතිවරයා සියලු ජාවාරම්කරුවන් සමාජයේ නිරාවරණය වෙමින් සිටින්නේ යැයිද රට පැනපු අය ඉන්නා තැන් සියල්ල ගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විෂ මත් ව්‍යසන පරදන "රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (30) අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.
මත්ද්‍රව්‍ය ක්‍රියාදාමයට සම්බන්ධ නම් එයින් වහාම ඉවත් වන ලෙස රාජ්‍ය ආයතනවල සියලු නිලධරයන්ගෙන් අප ඉල්ලා සිටිනවා.තවදුරටත් ඔබ කවුරුවත් සැඟවී නැහැ. අප ඒ ඔක්කොම දන්නවා. මේ සත්‍ය අපේ ඇස් ඉදිරිපිට පේනවා.
ඒ වගේම මත්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වන්නැයි ඊට ලොල්වූ අයගෙන් අප ඉල්ලා සිටිනවා. ඔබ බාරගන්න අප ලෑස්තියි. මතට ලොල් වූ අය පුනරුත්ථාපනය කිරීම අපේ වගකීමක්. මතට ලොල්වූ දරුවන් අපට බාර දෙන්නැයි මා පියන්ට කියනවා.ඔවුන් පුනරුත්ථාපනය සඳහා අප විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනවා.
ඒ වගේම විකුණන අය යටත් වෙන්න.අප ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ගොඩ නගනවා.රේගුව මෝටර් ,රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලිස්, හමුදා, බුද්ධි අංශ ඔක්කොම එකතු කරගෙන ඒ මධ්‍යස්ථානය හදනවා. ඒ නිසා කිසිවකුට තවදුරටත් සැඟවී ඉන්න හැකියාවක් නැහැ.රට පෙනපු අය ඉන්න තැන් අප දන්නවා.අප නිරන්තරයෙන් වැටලීම් සූදානම් කරනවා. කිසිවකුට සැඟවී පලායන්න බෑ. මේ සමාජයේ ඉතා කුඩා කල්ලියකට ගොදුරු වෙන්න ඉඩ දෙනවනම් අපි කවුද? මේක උන්ට ගිහිපු රට නොවන බව හොඳට මතක තියාගන්න.
අපේ ගම් වලට විශාල ලෙස පන්සල පල්ලිය කෝවිල සමග සබඳතාවයක් තිබෙනවා.ඔබ වහන්සේලා ඒ පණිවිඩය සමාජ ගත කරන්න.
මාධ්‍ය ඇතැම් විට එකට එක ,තකට තක ,ඇට නැති දිව වගේ තත්ත්වයකට පත්වෙලා තියෙනවා.මේ සම්බන්ධ වාර්තාකරණයේදී ශිෂ්ට සම්පන්න වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.ඒ නිසා රට මතින් මුදවා ගැනීමට හික්මීමක් සහිත වාර්තාකරණයක් ලබා දෙන ලෙස ජන මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.
මේ ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ වැදගත්ම කාර්යභාරය තියෙන්නේ දේශපාලන අධිකාරියට.දේශපාලකයන් සමඟ ගැවසීම, මිතුරන් වීම තුළින් මේ සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරෝපිත බලයක් එනවා.ඒ නිසා පරීක්ෂණ අඩපණ කෙරෙනවා.අපේ දේශපාලන බලය කිසිම ආරෝපිත බලයක් නිර්මාණය නොකරන බව මෙහිදී ප්‍රතිඥා ලබා දෙනවා.
ඉතා කෙටි කලකින් අපරාධ කරුවන් නීතිය හමුවට ගෙන එන්න අපේ පොලිසිය සමත්.අපේ රටේ නොවිසදුනු හැම අපරාධයක් පිටුපසම දේශපාලන ආරක්ෂාවක් තිබෙනවා.
ලසන්ත ඝාතනය ,තාජුඩින් ඝාතනය, මාධ්‍යවේදීන්ට පහර දීම නොවිසඳුනේ පොලිසියේ අදක්ෂ බව නිසා නොවේ. දේශපාලන රැකවරණය නිසයි.
ඔවුන්ගේ පළමු බලය වන දේශපාලන බලය දැන් අවසන් කර තිබෙනවා.අදත් සමහර අපරාධ බන්ධනාගාර තුළ සිට මෙහෙයවනවා.
අද පොලිසිය අපරාධකරුවාගේ සතුරා බවට පත්වී සිටිනවා. පොලිසියට එරෙහිව නගන හඬින් ඒක තේරුම් ගන්න පුළුවන්.තවත් ඉදිරියේදී විවේචනයට ලක්වෙන පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඉන්නවා. මේ වැඩේ හරියට කරනකොට ඒ විවේචන අහන්න වෙනවා.අප බලය දෙන්නම්. මේ ව්‍යසනය අවසන් කරමු.
ඒ වගේම උඩ සිට පහළ දක්වා අප ජනතා ව්‍යාපාරයක් හදනවා. ගමේ අපරාධ කාරයා හුදෙකලා කළ යුතුයි. අප ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩනගනවා. මේ මතට එරෙහිව ප්‍රබලම හඬ නගන්නේ එම ව්‍යාපාරයයි.
මේ ව්‍යසනය දුරැලීම රජයට හෝ පොලිසියට පමණක් කරන්න බෑ.අවස්ථාව මෙයයි.මේ මහජන ව්‍යාපාරය විසින් විෂමත් නැමැති මායාකාරී කුණාටුව විනාශ කරනවා.මේ මායාකාරී කුණාටුවෙන් අප ජාතිය ගලවා ගන්නවා යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නේය.

