කෑම නැති බව අධ්‍යාපන ඇමති පිළිගනී


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

බස්නාහිර හැර සෙසු සියලූ පළාත්වල පාසල් දරුවන්ට ආහාර සැපයිම සැපයුම්කරුවන්ට මුදල් සැපයීමේ ප්‍රමාදය හේතුවෙන්  නතරවී ඇතැයි  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  අද (26) පිළිගත්තේය.

ලෝක බැංකු අරමුදල ආහාර සැපයුම්කරුවන්ට  මේ වර්ෂයේ පෙබරවාරි මාර්තු මාසවලට අදාලව රුපියල් කෝටි 87 ක මුදලක්  ගෙවීමට  කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික ජනබලවේගයේ  නායක මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

සමහර පළාත්වල පාසල් ආහාරය සම්බන්ධයෙන් ගැටලු මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම දකුණු පළාතේ පෙබරවාරි මාසේ ඉඳලා ආහාර සැපයුම් කරුවන්ට ගෙවීම්  කරල නෑ.  පෝෂණ වැඩසටහන සඳහා මිලියන දහසය දහසක  මුදලක් පළාත් සභාවලට අයවැයෙන් වෙන්කරනු ලැබුවා.  පෙබරවාරි මාසේ මිලියන 61 ක් ගෙවලා තියෙනවා. 2021 සියලු හිඟ ගෙවීම්  ඉවර කරලා තිබුණා. පළාත් නවයේ පෙබරවාරි මාර්තු මුදල් අවශ්‍යතාවය රුපියල් මිලියන 875ක්.  ලෝක බැංකු  අරමුදලෙන්  ඒ  මුදල ඉදිරියේදී  ගෙවනවා. ඒ නිසා එම ආහාර සැපයීමේ වැඩපිළිවෙළ නතර වන්නේ නැහැ. ඒක දිගටම යනවා.