ක්ලෙයාර් ඕනීල් මහත්මිය


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මානුෂීය සහ ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල් මහත්මිය දේශපාලන රැකවරණය පතා නීති විරෝධීව බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලුව  පිළිබඳවද  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙයි.

ඕස්ට්‍රේලියාවේ   දේශපාලන  රැකවරණය පතන්නන් පිළිබඳ තම රජයේ ප්‍රතිපත්ති ඉතාමත් පැහැදිලි බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මහතා ප්‍රකාශ කළේය.

නීති විරෝධීව බෝට්ටුවෙන්  ඕස්ට්‍රේලියාවට පැමිණෙන දේශපාලන රැකවරණය පතන කිසිම පුද්ගලයෙකුට  ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට අවස්ථාව ලබා නොදෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මහතා අවධාරණය කළේය.

සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් මෙහෙයවන මිනිස් ජාවාරම් ව්‍යාපාරය මිනිසුන්ව නොමග යවමින් බොරු බලාපොරොත්තු දෙමින් ඕස්ට්‍රේලියාව වෙත නීති විරෝධිව බෝට්ටු මගින් රැගෙන ආවත් තම මුහුදු සීමාව ආරක්ෂා කිරීමේදී මනුෂීය හැඟීම් වලට ඉඩ නොදෙන බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මහතා පැවසුවේය.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අතර පසුගිය සතියේ දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර එහිදී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල් මහත්මියට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ආරාධනා කර ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.

ක්ලෙයාර් ඕනීල් මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරුන් සමග ශ්‍රී ලංකාවේ මානුෂීය සහ ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ස්කයි පුවත් සේවය වාර්තා කළේය.