කන්ටේනර් 500ක අත්‍යවශ්‍ය ආහාර අනතුරේ


(යොහාන් භාසුර)

විවෘත ගිණුම් හරහා ආනයන තහනම් කිරීමට රජය ගත් පියවරගත් සමඟ එම ක්‍රමයට ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 500 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කරගැනීමට නොහැකිව කොළඹ වරායේ සිරවී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට අද (27) පැවසීය.

නිදහස් කරගැනීමට නොහැකිව තිබෙන කන්ටේනර් තුළ ලූණු, අල, සුදුලූණු, පරිප්පු සහ හාල්මැස්සන් කරවල වැනි ඉක්මණින් නරක් වන ද්‍රව්‍ය ද අඩංගුව ඇති නිසා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව කී නිහාල් සෙනෙවිරත්න මහතා ඉදිරි දිනවලදී ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළේය.

මෙම කන්ටේනර්වලට අමතරව ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් ද ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 300 ක් 400 ක් පමණ වරාය ඇති බවත් එම කන්ටේනර් තුළ ද ඉක්මණින් විනාශ වන ආහාර ද්‍රව්‍ය ඇති බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.