කඩුගන්නාව නගර සබේ අය වැය පරාදයි


(චමිල් රූපසිංහ)
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් 2019 වසර සදහා අද (18) ඉදිරිපත් කළ අය වැය පරාජයට පත්විය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක් මන්ත්‍රිවරයෙක් හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයා අයවැය සදහා විරුද්ධව ඡන්දය ප්‍රකාශයට පත් කළහ.


එහිදි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු ද අයවැයේ සංශෝධන ඇති බවත් එම නිසා අයවැය පිළිගත නොහැකි බවත් එම නිසා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලබන බවත්  පැවසූහ.


සභාපතිවරයා අයවැය සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝඡනය කරන සිසිර අබේවික්‍රම මහතා කතා කරමින් නගර සභාව සදහා ඉදිරිපත් කළ අයවැයේ යම් යම් අඩුපාඩු ඇති බවත් පසුගිය කාලයේ යම් යම් සේවාවන්වලදි තමා හට මනාපය ලබා දුන් ජනතාවට සේවයක් කිරිමට තමන්ට වර්තමාන සභාපතිවරයා විසින් අවස්ථාව නොදුන් බවත් එම නිසා මෙම අයවැයට විරුද්වධ ඡන්දය ප්‍රකාශ කරන බව එහිදි කීය.


අමිල වේරගොඩ මහතා විසින්  ඉදිරිපත් කළ අයවැය සම්මත කර ගැනිම සදහා වීවෘත ඡන්දයක් නගර සභාවේ උප සභාපතිවරයා විසින් යෝජනා කළ අතර එය නගර සභාවේ විපක්ෂ නායිකාව (එක්සත් ජාතික පක්ෂය)  විසින් ස්ථිර කළ පසු විතෘත ඡන්ද විමසීමේදි අයවැයට පක්ෂව ඡන්ද 7 ක්ද, විපක්ෂව ඡන්ද 8 ක්ද ලැබීය. ඒ අනුව  කඩුගන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කඩුගන්නාව නගර සභාවේ ප්‍රථම අයවැය පරාජයට පත්විය. 


එහිදී සභාව ඇමැතූ කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා සභාව අමතමින් තම පාලන කාලය තුළ කිසිදු මන්ත්‍රිවරයෙකුට අසාධාරණයක් නොවන අයුරින් රාජකාරි කළ බවත් සිසිර අබේවික්‍රම මහතාගේ බල ප්‍රදේශයට අදාළව සංවර්ධන කටයුතු තමා මැදිහත්ව  කළ බවත් අයවැයේ අඩුපාඩු සකසා නැවත මෙම මස 31 වනදාට ප්‍රථම නැවත සභාවට ඉදිරිපත් කරනු ලබන බවද පැවැසීය.